Sunday, July 15, 2012


මම යනවා
මරණයෙ සුව
සොයාගන්න…
ඔබ එනවද
මගෙ දෙන මත
සිනාසෙන්න…

කොහෙද නොහැඟෙන අඳුරු පෙදෙසක
හීනයද ඉකි බිඳින මොහොතක
තනිකමේ ගුලි වෙලා හෙමිහිට
මතකයන් එක්කරමි කඳුලට...

දුරක නොපෙනෙන අනන්තය දෙස
නෙත් අයා තව බලන් හිටියට
දන්නවා මිරිඟුවක් විලසට
පෙනෙන්නටවත් එන්නෙ නැහැ නුඹ...

රුහිරු බිඳු වල පවා කැටි උන
නුඹේ සුසුවඳ සුළඟ ගෙන එන
පාරවන විට හදත් නිතරම
ඉතින් නුඹ නැති ලොවක් කුමටද...

පපුතුරේ සඟවාන හෙමිහිට
පිවිතුරුම පෙම නුඹට ලියවුන
ඉඳුල් නොකරන් තවත් හදකට
තියා ගන්නම් මියෙන තුරු මම.......


ජීවිතේ හරි බරයි දෙවියනි
ආදරේ ඉඳිකඩයි එහි ඇති
පනින්නට මට සවිය මදි උනි
ලතැවුලක් පමණක්ම හිමි උනි...

සුපෙම් සිහිනෙන් සිතම පිර උනි
ඒ සොඳුරු වත මටම ලං උනි
හීනයට පිට දිදී හිනැහුණි
සොඳුරු ලෝකෙක ඔහේ තනි උනි...

සිහින වෙන්වී දුරට පාවුනි
කඳුළු හිරිකඩ ඇසට එක්වුනි
වියෝ දුකටම දිවි සින්න උනි
කඳුළු එක්කම මෙදා සැතපෙමි.......

Wednesday, June 13, 2012

ගිලිහුණු සුදු මල් පෙත්තක

ගිලිහුණු සුදු මල් පෙත්තක පාට දකිනු බෑ
පිට උණු හුස්මක් ආපසු ලය වෙත ගනු බෑ
මගේ මුවින් මින් මත්තට සිනහ දකිනු බෑ
කෙදිනක හෝ ඔබ එනතුරු සෙනෙහෙ ලැබෙන්නෑ...


වෙරළට ආ රළ ආපසු යනු වලකනු බෑ
පොලවට වැටුනට වැහි බිඳු සදහට ඉනු බෑ
ඇස් අග්ගිස්සෙන් ගිලිහෙන කඳුළු රකිනු බෑ
කොතරම් හැඬුවත් සත්තයි දුක නැති වෙන්නෑ...

යකඩත් උණුවන ගින්නක පුළුන් දකිනු බෑ
වැලි කතරේ මිරිඟුව මත දිවි රඳවනු බෑ
කොතරම් වෙර දැරුවත් මට මතක මකනු බෑ
මියැදෙනු හැර අන් යමකින් සතුටක් එන්නෑ........